තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය (CHP) තුළ හටගෙන ඇති බල අරගලය තවදුරටත් උග්‍ර කරමින්, ධුරයෙන් ඉවත් කරන ලද එහි හිටපු නායකයා පක්ෂය රැකගැනීම සඳහා එක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිද්දී, අධිකරණය විසින් පත් කරන ලද නව නායකයා පක්ෂය “පිරිසිදු කිරීමට” සපථ කරමින් වෙනම ප්‍රතිවිරුද්ධ රැස්වීමක් කැඳවා තිබේ.
පසුගිය 2023 වසරේ පැවැති පක්ෂ මහා සම්මේලනයේදී ඕස්ගුර් ඕසෙල් (Ozgur Ozel) මහතා CHP පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ නමුත්, එහි අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් තුර්කි අධිකරණයක් විසින් පසුගිය මාසයේදී එම පක්ෂ සම්මේලන තීරණය අවලංගු කරනු ලැබීය. ඒ වෙනුවට 2023 ජනාධිපතිවරණයේදී ජනාධිපති තායිප් අර්ඩගන් හමුවේ පරාජයට පත් වූ, පක්ෂය තුළ දැඩි මතභේදයට ලක්ව සිටින හිටපු නායක කෙමාල් කිලිච්දාරොග්ලු (Kemal Kilicdaroglu) නැවතත් පක්ෂ නායකත්වයට පත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
දේශපාලන අරමුණු මත පදනම්ව ලබාදුන් තීන්දුවක් ලෙස විවේචකයින් හඳුන්වන මෙම අධිකරණ නියෝගය හේතුවෙන් තුර්කියේ මූල්‍ය වෙළෙඳපොළ දැඩි කැලඹීමකට ලක්ව ඇති අතර, එරට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ සැකසංකා ද මතු කර තිබේ. විපක්ෂය මුහුණ දී සිටින මෙම දැඩි අර්බුදකාරී ස්වභාවය, නේටෝ (NATO) සාමාජිකයකු වන තුර්කිය තුළ දශක දෙකකට අධික කාලයක් පාලනය ගෙනයන ජනාධිපති අර්ඩගන්ට සිය පාලන කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීමට ලැබුණු අනගි අවස්ථාවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නිල වශයෙන් මීළඟ මැතිවරණය 2028 වසරේදී පැවැත්වීමට නියමිත වුවද, විපක්ෂයේ පවතින මෙම දුර්වලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රජය විසින් කලින්ම මැතිවරණයක් කැඳවීමට ඉඩ ඇති බවට ද මත පළවේ.
පක්ෂයේ නායකත්වය වෙනුවෙන් සටන් වදින නායකයින් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සතිපතා පක්ෂ රැස්වීම ඇමතීමට සූදානම්ව සිටි අතර, ඕසෙල්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් පැය කිහිපයකට පෙර සිටම පාර්ලිමේන්තු සභාගැබට රැස්ව සිටියහ. කෙසේ වෙතත්, විපක්ෂයේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටින අන්කාරා නුවර නගරාධිපති මන්සූර් යාවාස් (Mansur Yavas) විසින් “බුද්ධිමත්ව කටයුතු කරන ලෙස” කරන ලද ඉල්ලීමෙන් පසුව, කෙමාල් කිලිච්දාරොග්ලු විසින් පාර්ලිමේන්තු රැස්වීම වෙනුවට පක්ෂ මූලස්ථානයේදී වෙනමම ප්‍රතිවිරුද්ධ රැස්වීමක් පවත්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
















