සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනය අද (10) පෙරවරුවේ බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැවැන්ත සේවාවක් ඉටු කරන ආයතනයක් බැවින්, එය කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. ආයතනය වඩාත් ශක්තිමත්ව සහ ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය නව සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව ද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගය රජය ඉතාමත් කෙටි කාලයක් තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව විශ්‍රාම වැටුප් ගැටලුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටලුව, වැටුප් කේත සම්බන්ධ ගැටලුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීම යන ප්‍රධාන කරුණුවලට සාර්ථකව විසඳුම් ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම සමෘද්ධි සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළදීම අවසන් කරන ලෙස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය රජයන් සමයේදී මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා වත්මන් රජය යොදා නොගත් බව පැවසූ ආචාර්ය උපාලි පන්නිල මහතා, රාජ්‍ය සේවකයාට හිමි උපරිම ගෞරවය ලැබෙන අයුරින් නිදහසේ සේවය කිරීමට අවශ්‍ය වටපිටාව දැන් නිර්මාණය කර ඇති බව ද ප්‍රකාශ කළේය.
මෙම මහා සම්මේලනය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා, දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















