2008 වසරේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තෙවන සැකකරු ලෙස හිටපු නාවික හමුදාපති, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි සිදුකළ බව කියන අපරාධයට අද්මිරාල් විජේගුණරත්න මහතා විසින් සහාය ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණයට එළඹිණි. එම නියෝගයත් සමඟම, ලබන ජූලි 22 වැනිදා පැවැත්වෙන නඩු වාරයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස අද්මිරාල් විජේගුණරත්න මහතා වෙත සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.
















