විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පවතින පරතරය අවම කරමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තිරසර සංවර්ධනය උදෙසා ප්‍රායෝගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ‘ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීමේ අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත’ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධාන කළ මෙම සමුළුවේදී, මධ්‍යම පළාතේ ව්‍යවසාය 1,000ක් ආශ්‍රයෙන් සිදු කළ විශේෂ සමීක්ෂණයක ප්‍රතිඵල එළිදැක්වුණු අතර ‘ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දර්ශකය’ (SLECI) පිළිබඳ මූලික තොරතුරු ද ප්‍රකාශයට පත් කෙරිණි. විශ්වවිද්‍යාල සහ ප්‍රතිපත්ති සම්පාදන ආයතන අතර පැවති ඈත් වීම නිමා කරමින්, නිෂ්පාදන මෙන්ම සේවා ක්ෂේත්‍ර 27ක් ආවරණය වන පරිදි උපදේශක සභා ස්ථාපිත කර ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















