ඉන්දුනීසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය ජකර්තා නුවර පිහිටි ඉස්තානා මෙරඩේකා (Istana Merdeka) ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය. එහිදී ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ අතර, 2027 අගෝස්තු මාසයට යෙදෙන දෙරටේ 75 වැනි රාජ්‍යතාන්ත්‍රික සංවත්සරයට සමගාමීව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව ද සඳහන් කළාය.
වසර 28කට අධික සේවා කාලයක් සහිත, ශ්‍රී ලංකා විදේශ සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, මීට පෙර සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ.
















