මත්ස්‍ය ප්‍රජනන සමය වෙනුවෙන් තමිල්නාඩු ධීවරයින්ට පනවා තිබූ මාසයක වාර්ෂික ධීවර තහනම ඉකුත් 15 වැනිදායින් අවසන් වීමත් සමඟ, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2,000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමේ නිරත වන බව වාර්තා වේ. මැයි 15 සිට ජූනි 15 දක්වා ක්‍රියාත්මක වූ මෙම තහනම ඉවත් වීමත් සමඟ ඉන්දීය ධීවරයන් මෙලෙස විශාල වශයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් උතුරු පළාතේ දේශීය ධීවර ප්‍රජාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
මේ අතර, තමිල්නාඩුවේ නව මහ ඇමැති ලෙස විජේ පත්වීමෙන් අනතුරුව, තමිල්නාඩු ධීවර සංගමයේ ප්‍රධානී අන්නලිංගම් අන්නාරාසා ඇතුළු නියෝජිත පිරිසක් ඔහුව හමුවී තිබේ. එහිදී වාර්ෂික ධීවර තහනම නිසා ධීවරයන් මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන එම නීති ලිහිල් කරන ලෙසත්, ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී ඉන්දීය ධීවරයන්ට සිදුවන බාධා අවම කරදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. මේ පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කර කඩිනම් පියවර ගන්නා බවට නව මහ ඇමැතිවරයා එහිදී සහතික වී ඇත.
















