වනජීවී සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් වනජීවී සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වුවද, එම ක්‍රියාවලිය හේතුවෙන් දැනට සේවයේ නිරත වෘත්තීය නිලධාරීන්ගේ තනතුරු හෝ වැටුප් තලවලට කිසිදු අගතියක් සිදු නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
වනජීවී නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, සේවයට අලුතින් එක්වන 8,500ක් පමණ වන පිරිස වන සිවිල් ආරක්ෂක නිලධාරීන් 5,000ක් සහ බහුකාර්ය නිලධාරීන් 3,500ක් සමස්ත පද්ධතියට විශාල ශක්තියක් වන බවයි. කෙසේ වෙතත්, එම අන්තර්ග්‍රහණය සිදු කිරීමේදී දැනට වසර ගණනාවක සිට විශිෂ්ට සේවාවක් ඉටු කරමින් සිටින ක්ෂේත්‍ර සහකාරවරුන් ඇතුළු නිලධාරීන් 800කගේ සේවා අයිතීන් සහ වරප්‍රසාද කිසිසේත්ම කප්පාදු නොවිය යුතු බව හෙතෙම කියා සිටියේය.
නව පිරිස් අන්තර්ග්‍රහණය කිරීමේදී ක්ෂේත්‍ර සහකාරවරුන්ගේ වත්මන් තනතුරු, පරිපාලන ව්‍යුහය සහ වැටුප් තල නිවැරදිව ස්ථාපිත කිරීමේ වගකීම රජය සතු වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. සීමිත මිනිස් බලයක් යොදා ගනිමින් අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් මෙතෙක් කැපවී සේවය කළ නිලධාරීන්ගේ වෘත්තීය අභිමානය ආරක්ෂා විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. නව බඳවා ගැනීම් හරහා පද්ධතිය ශක්තිමත් විය යුතු මිස, පැරණි සේවකයින්ට අගතිගාමී බලපෑමක් සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයක් වහාම වළක්වා ගත යුතු බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
















