රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් විශාල වශයෙන් රටින් බැහැර කිරීමේ දැවැන්ත ජාවාරමක නිරත වූ ප්‍රධාන සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 2023 වසරේ සිට ක්‍රියාත්මක වූ මෙම ජාවාරම හරහා රුපියල් කෝටි 21,000කට අධික මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “A.Y ඉන්වෙස්ට්මන්ට්” නම් ආයතනයක් හරහා මෙම මූල්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර, ජෙෆ්රි මොහොමඩ් නමැති පුද්ගලයෙකු එම ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ප්‍රධාන පෙළේ භාණ්ඩ ආනයනකරුවන් කිහිප දෙනෙකු ද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇති බවයි. කූට ලේඛන භාවිත කරමින් විදෙස් රටවලට ඩොලර් යවා භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් ඔවුන් රජයට අයවිය යුතු විශාල තීරුබදු ප්‍රමාණයක් වංචා කර ඇති බව ද විමර්ශන නිලධාරීන් පවසයි.
















