පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පිහිටුවූ දූෂණ විරෝධී කමිටු මඟින් නීතිය අවභාවිත කළ ආකාරයටම, වත්මන් ආණ්ඩුව ද අද වන විට නීතිය අවභාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා චෝදනා කරනවා. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, වත්මන් පාලනය අධිකරණ පද්ධතියට සහ විනිසුරුවරුන්ට වක්‍ර බලපෑම් කිරීමේ උත්සාහයක නිරත වන බවක් පෙනෙන්නට තිබෙන බවයි.
විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු හතරක් මෙතෙක් සම්පූර්ණ නොකර තබා ගැනීම ගැටලුසහගත බව පෙන්වා දුන් මහලේකම්වරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පැහැදිලිව දක්වා තිබියදී, ක්ෂේත්රයෙන් කිසිදු ඉල්ලීමක් හෝ සමාජය තුළ කතිකාවක් නොමැතිව එම විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය පිටුපස සැඟවුණු දේශපාලන අරමුණක් පවතින බව ද පැවසීය. තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් තවදුරටත් ධුරවල රඳවා තබා ගනිමින්, දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා තමන්ට වාසිදායක නඩු තීන්දු ලබාගැනීම මෙහි යටි අරමුණ විය හැකි බවට ද ඔහු සැක පළ කළේය.
රටේ ඕනෑම පුරවැසියකුට අසාධාරණයක් සිදු වූ විට පිහිට පැතීමට ඇති එකම සහ අවසාන ස්ථානය අධිකරණය වන බැවින්, අධිකරණයට ගිය විට තමන්ට සාධාරණයක් ඉටුවේය යන විශ්වාසය සෑම පුරවැසියකුටම තහවුරු විය යුතු බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය. මීට පෙර ද මෙලෙස නීතිය අවභාවිත කළ යුගයක් රට තුළ තිබූ බව සිහිපත් කළ ඔහු, වත්මන් ආණ්ඩුව ද යළිත් ඒ දෙසට ගමන් කරමින් සිටින බව වැඩිදුරටත් කියා සිටියේය.
















