හිසෙන් එකිනෙකට බද්ධ වී උපත ලැබූ නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනෙකු වෙන් කිරීමේ අතිශය සංකීර්ණ සැත්කම් මාලාවක් කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිතයෙන් සාර්ථකව සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. ලෝක වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී ඓතිහාසික විප්ලවයක් ලෙස සැලකෙන මෙම දැවැන්ත සැත්කම් මාලාව සඳහා ලොව පුරා රටවල් 20 කට අධික සංඛ්‍යාවකින් වෛද්‍ය විශේෂඥයන් 60 කට වැඩි පිරිසක් දායක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අබුඩාබි නුවර ශෙයික් කලීෆා වෛද්‍ය නගරයේදී (Sheikh Khalifa Medical City) මෙම සැත්කම සිදු කර ඇත්තේ ලෝක ප්‍රකට ළමා ස්නායු වෛද්‍ය මහාචාර්ය නූර් උල් උවෙයිස් ජීලානි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් විසිනි.
හිස් කබල්, මොළයේ පටක මෙන්ම ප්‍රධාන රුධිර වාහිනී ද එකිනෙකට බද්ධ වෙමින් 2023 වසරේදී නයිජීරියාවේදී මෙම දැරියන් උපත ලබා තිබුණි. ‘මර්සි’ (Mercy) සහ ‘ගුඩ්නස්’ (Goodness) ලෙස නම් කර ඇති මෙම දැරියන් දෙදෙනා වෙන් කිරීම සඳහා අදියර 4 කින් යුත් අතිශය අවදානම් සහගත සැත්කම් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා ගතවී ඇති මුළු කාලය පැය 40 කට ආසන්නය. මෙවැනි සුවිශේෂී සැත්කමක් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සාර්ථකව බද්ධ කර ගැනීම හේතුවෙන් සැත්කමේ නිරවද්‍යතාව සහ ආරක්ෂාව ඉහළ නංවා ගැනීමට හැකි වූ බව වෛද්‍ය කණ්ඩායම පවසයි.
සැත්කමෙන් පසුව අතිශයින්ම සුවදායී තත්ත්වයෙන් පසුවන නිවුන් දැරියන් දෙදෙනා මේ වන විට පූර්ණ සුවය ලබා නයිජීරියාවේ පිහිටි සිය නිවෙස බලා ගොස් ඇති බව ද වාර්තා වේ. වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් මෙවැනි සංකීර්ණ සැත්කම් සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සාර්ථකව භාවිත කිරීමට හැකි වීම සමස්ත ලෝක වෛද්‍ය ඉතිහාසයේම සනිටුහන් වූ දැවැන්ත ඉදිරි පිම්මක් බවයි.
















