ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන දේශසීමා කලාපය තුළ දෙපාර්ශවය අතර යළිත් වරක් දරුණු සන්නද්ධ ගැටුම් සහ ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ වී ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. පාකිස්තාන හමුදාව විසින් සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් නැඟෙනහිර ඇෆ්ගනිස්තානයේ කොස්ට් (Khost), කුනාර් (Kunar) සහ පක්ටිකා (Paktika) යන පළාත් ඉලක්ක කරමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන්, තමන් ද පාකිස්තානයේ ප්‍රතිවාදී බුද්ධි තොරතුරු ජාල සහ සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටින ඉලක්ක වෙත පසුගිය සති අන්තයේදී දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
තලේබාන් රජයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් මහතා සඳහන් කර ඇති පරිදි, පාකිස්තාන හමුදාව එල්ල කළ මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් අහිංසක සිවිල් වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පිරිස අතර දරුවන් 11 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින බවත්, ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 14 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඇෆ්ගනිස්තාන පාර්ශවය අවධාරණය කරයි. කෙසේ වෙතත්, පාකිස්තාන රජය විසින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව තහවුරු කර තිබුණ ද, ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වූ බවට තලේබාන් පාලනය නිකුත් කළ නිවේදනය සහ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. දේශසීමා ආරක්ෂාව දැඩි කරමින් දෙරට අතර පවතින මෙම යුදමය ස්වභාවය කලාපීය ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වී ඇත.
















