දින දහසක් සම්පූර්ණ වී ඇති ඊශ්‍රායල – හමාස් දරුණු යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය යළි ගොඩනැඟීම සඳහා පලස්තීනය ඉන්දීය රජයෙන් හදිසි මානුෂීය සහනාධාර ඉල්ලා තිබෙනවා. යුද්ධය හේතුවෙන් ගාසාවේ වෛද්‍ය යටිතල පහසුකම්වලට සිදුවී ඇති බරපතළ විනාශයේ බලපෑම් අවම කිරීමට කඩිමින් මැදිහත් වන ලෙස ඉන්දියාවේ පලස්තීන තානාපති අබ්දුල්ලා අබු ෂවේෂ් මහතා ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නවදිල්ලි නුවරදී මාධ්‍යවේදීන් අමතමින් තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ ගාසා තීරයේ වර්තමාන මානුෂීය අර්බුදය අතිශය දරුණු අතට හැරී ඇති බැවින් ජීවිතාරක්ෂක ඖෂධ සහ සෙසු වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ජාත්‍යන්තරයේ සෘජු දායකත්වය අත්‍යවශ්‍යම මොහොතක් උදාවී ඇති බවයි.
පවතින හදිසි අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක වෛද්‍ය සැපයුම් කඩිනමින් ලබාගත යුතුව ඇති බව ද පලස්තීන තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දශක ගණනාවක් පුරා ඉන්දියාව සහ පලස්තීනය අතර ඉතා සමීප සහයෝගීතාවක් පවතින අතර, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනිමින් ඔවුන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත් ලොව පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවයි. එවැනි ශක්තිමත් ඓතිහාසික පසුබිමක් තුළ, ගාසාවේ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ඉන්දීය රජය පෙරමුණ ගනු ඇතැයි පලස්තීනය දැඩි විශ්වාසයකින් පසුවෙයි.
















