තෙල්දෙණිය රෝහල් රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී පසුගිය දිනක හමුවූ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වැලිගම, පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය අම්පාර රෝහලක සේවයේ නිරතව සිටි අයෙකි.පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මියගිය කාන්තාව සහ ඇගේ පෙම්වතා යැයි පැවසෙන ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි සැකකරු නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිට ඇති බවයි. සැකකරු විසින් ඇයගේ මළ සිරුර මෝටර් රථයක දමා තෙල්දෙණිය ප්‍රදේශයට රැගෙන විත් රථ ගාලේ නතර කර ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි. මරණය සිදුවීමෙන් පසු සැකකරු විසින්ම තෙල්දෙණිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී මෝටර් රථය තුළ මළ සිරුරක් ඇති බව දන්වා තිබේ.මෙම ඝාතනය පසුපස දැවැන්ත මූල්‍ය වංචාවක් ඇති බවට ප්‍රධාන සැකයක් මතුව ඇත. මියගිය තරුණිය විදේශගත වීමේ අපේක්ෂාවෙන් ලබාගත් රුපියල් මිලියන ගණනක මුදලක් සැකකරු විසින් වංචා කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මීට අමතරව, මෙම සැකකරු මීට පෙරද කාන්තාවන් විශාල පිරිසක් රවටා විවිධ අයුරින් මුදල් වංචා කළ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබීම විශේෂත්වයකි.පොලිසිය විසින් මෙම සිදුවීම සැක සහිත මරණයක් ලෙස සලකා විමර්ශන සිදු කරන අතර, දැනට නිදැල්ලේ පසුවන සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. දක්ෂ, උගත් තරුණියකගේ ජීවිතය අකාලයේ බිලිගැනීමට හේතු වූ මෙම සාපරාධී ක්‍රියාව පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිති.
















