ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සුපිරි තරු ක්‍රීඩක කයිලියන් එම්බැපේ, පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණීමට අද (ජූනි 23) සමත් විය.
ලෝක කුසලාන තරගාවලි තුනක් නියෝජනය කරමින් තරග 16කට ක්‍රීඩා කර ඇති එම්බැපේ, මේ වන විට වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 16කි. අද පැවති ප්‍රංශය සහ ඉරාකය අතර තරගයේදී ගෝල 02ක් වාර්තා කරමින් ඔහු මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කීවේය. මේ අතර, ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී ගෝල 18ක් වාර්තා කරමින් පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සර්වකාලීන වැඩිම ගෝල ලාභියා ලෙස අඛණ්ඩව ඉදිරියෙන් පසුවේ.
මේ අතර, අද පැවති තරගයේදී ඉරාකය පරදා ගෝල 3-0ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රංශය සමත් විය. තරගයේ 14 වැනි සහ 54 වැනි මිනිත්තුවලදී එම්බැපේ ගෝල ලබාගත් අතර, ප්‍රංශය වෙනුවෙන් තුන්වන ගෝලය 66 වන මිනිත්තුවේදී උස්මාන් ඩෙම්බේලේ විසින් වාර්තා කරන ලදී.
මෙම ජයග්‍රහණයත් සමඟ ‘I’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රංශය සමත් වූ අතර, ඒ හරහා ඔවුන් සුපිරි 32 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව තවදුරටත් තහවුරු කරගෙන තිබේ.
















