2010 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ ආගමික නායකයන් 22 දෙනෙකුට රාජකාරි විදෙස් ගුවන් ගමන් බලපත්‍ර (Official Passports) නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ, 2008 සහ 2016 වසරවල නිකුත් කළ චක්‍රලේඛවලට අනුකූලව මෙම බලපත්‍ර නිකුත් කර ඇති බවයි. ඇතැම් ආගමික නායකයන් අමාත්‍යාංශවල උපදේශකවරුන් ලෙස කටයුතු කර ඇති බවත්, ඒ මත පදනම්ව මෙම බලපත්‍ර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
බලපත්‍ර නිකුත් කර ඇති දිස්ත්‍රික්ක අනුව බෙදී යාම:
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආගමික නායකයන් 08 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, පුත්තලම, අනුරාධපුරය, ගාල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් එක් අයෙකු බැගින් ද, විදේශ ලිපින යටතේ දෙදෙනෙකු ද ලෙස මෙම පිරිස ලියාපදිංචි වී ඇත.
රාජකාරි ගුවන් ගමන් බලපත්‍රවල වලංගු කාලසීමාව අවසන් වීමෙන් පසු, එම ආගමික නායකයන්ගෙන් ඇතැම් අය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා පැවසීය. මෙම ගමන් බලපත්‍ර භාවිත කරමින් සිදු කර ඇති ගමන් විස්තර සහ අදාළ ආගමික නායකයන්ගේ නම් ඇතුළත් ලේඛනයක් ඇමුණුමක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඔහු පියවර ගත්තේය.
















