ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) මෙරට නියෝජිත සහ රටේ අධ්‍යක්ෂ පිලිප් වෝඩ් මහතා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (ජූනි 24) පැවැති මෙම සාකච්ඡාවේදී, ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ රජයේ ආපදා අවදානම් කළමනාකරණ මෙන්ම ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. ජාතික මට්ටමේ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ලෝක ආහාර වැඩසටහන අතර සහයෝගීතාවය වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.
ස්වාභාවික ආපදා සහ හදිසි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලෝක ආහාර වැඩසටහනට සහ පරිත්‍යාගශීලී ප්‍රජාවට ලබා දිය හැකි සහාය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළ ආරක්ෂක ලේකම්වරයා, රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
















