රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ ඕනෑම පියවරක් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බවත්, එම කටයුතු ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
සාමාන්‍ය සෙබළාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, හමුදාවේ කීර්තිය සහ වගකීම් පසෙකලා ඇතැම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට අනුචිත දේ සිදු කර ඇත්නම්, හමුදාවේ ගෞරවය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීමට සූදානම් බව ඔහු පැවසීය. මෙය පුද්ගලික පළිගැනීමක් නොව, හමුදාවේ ගෞරවය සමාජය ඉදිරියේ තහවුරු කිරීම සඳහා සිදු කළ යුතු ක්‍රියාවලියක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිදු වී ඇති අපරාධ වැලිවලට යට කර වැළලීමෙන් නොව, විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ පවත්වා කරුණු සමාජයට හෙළිදරව් කිරීමෙන් පමණක් හමුදාවේ සහ රටේ ගෞරවය ආරක්ෂා වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
















