ගල්අඟුරු සහ කන්ටේනර් ප්‍රතිඅපනයනයට අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පාරදෘශ්‍යභාවයකින් යුතුව විමර්ශන කමිටු සහ කොමිෂන් සභා ක්‍රියාත්මක වෙමින් පවතින බව රජය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂය විසින් එල්ල කරන ‘දේශපාලන පළිගැනීම්’ පිළිබඳ චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත්, වත්මන් පාලනය නීතිය ක්‍රියාත්මක කරන විට එය පළිගැනීමක් ලෙස හංවඩු ගැසීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවත් රජය පෙන්වා දුන්නේය.
සැබෑ දේශපාලන පළිගැනීම් යනු කුමක්දැයි වටහා ගැනීමට අතීත සිදුවීම් දෙස බැලිය යුතු බව පවසමින් රජය උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළේය. 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාව අමානුෂික ලෙස අත්අඩංගුවට ගැනීම සහ 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් 700කට අධික පිරිසකට විදේශ ගමන් තහනම් පැනවීම වැනි සිදුවීම් සැබෑ දේශපාලන පළිගැනීම් සඳහා උදාහරණ ලෙස රජය පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවන තුරු කිසිදු හදිසි අත්අඩංගුවට ගැනීමක් සිදු නොකර, අඩපණව තිබූ විමර්ශන යාන්ත්‍රණය සහ මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත් බව සභාවේදී අනාවරණය විය. තහවුරු වූ දත්ත සහ සාක්ෂි මත පදනම්ව නීතියේ මූලධර්මවලට අනුකූලව පමණක් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරන බවත්, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුවන බවත් රජය සහතික කළේය. සුදු වෑන් භීෂණය සහ මාධ්‍යවේදීන් ඝාතනය වැනි අඳුරු අතීතයකට හිමිකම් කියන පාර්ශවයන්ට වඩා වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ පුරවැසියාගේ අයිතිවාසිකම්වලට උපරිමයෙන් ගරු කරන බව රජය වැඩිදුරටත් අවධාරණය කළේය.
















