මත්ද්‍රව්‍යවලට එරෙහි ජාතික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජාතික මෙහෙයුම් කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය බෙහෙවින් ඉවහල් වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (26) කොළඹදී පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම තොරතුරක් ලබාදීම සඳහා දැනට භාවිත වන 1818 ක්ෂණික දුරකථන අංකය ඉදිරියේදී මෙම නව මාධ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. දශක ගණනාවක් තිස්සේ රට තුළ ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය උවදුර එක්වරම සමාජයෙන් තුරන් කළ නොහැකි වුවද, එය මැඩපැවැත්වීම සඳහා රජය අඛණ්ඩ හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
අතීතයේ පැවති දේශපාලන සබඳතා සහ බලපෑම් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම රට පුරා ව්‍යාප්ත වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය යටතේ එවැනි සියලු දේශපාලන බලපෑම් ඉවත් කර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නිදහසේ රාජකාරි කිරීමට අවස්ථාව සලසා දී ඇති බව ද අවධාරණය කළේය. මෙම නව මධ්‍යස්ථානය මාධ්‍ය සම්බන්ධීකරණයට පමණක් සීමා නොවී, මහජනතාවට සෘජුවම මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදිය හැකි ආරක්ෂිත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















