චීනයේ ෂැන්හයි නුවර පැවැති “MWC Shanghai 2026” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව, ආසියා-ශාන්තිකර කලාපයේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම සහ දිනෙන් දින ඉහළ යන මූල්‍ය වංචා (Scams and Fraud) මැඩපැවැත්වීම පිළිබඳ විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්විණි. GSMA ආයතනය සංවිධානය කළ මෙම රහසිගත (Closed-door) සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී විය.
විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණය (Automation) යොදා ගනිමින් ජාත්‍යන්තර මට්ටමින් සිදුවන නවීන මාර්ගගත වංචා හමුවේ, පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමට ශක්තිමත් ආරක්ෂණ පද්ධති සකස් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, තාක්ෂණික වංචා මැඩලීම සඳහා නව විසඳුම් සෙවීම, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම සහ රටවල් අතර පොදු එකඟතාවන් මත ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කළේය.
















