රටේ විදුලි බල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා රජය ආරම්භ කළ විශේෂ බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ (BESS) තවත් බැටරි පද්ධති 7ක් ඊයේ සවස කොළඹ වරායට රැගෙන විත් තිබේ. මෙම නව පද්ධති 7 පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චේනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි විදුලි බල සම්ප්‍රේෂණ උපපොළවල් අසල සවිකිරීමට නියමිතය.
මෙමඟින් විදුලිය මෙගාවොට් 280ක (280MW) ධාරිතාවක් ගබඩා කර තබා ගත හැකි අතර, දෛනිකව මෙගාවොට් 70ක් ජාතික විදුලි බල පද්ධතියට මුදා හැරීමට සැලසුම් කර ඇත. ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියකින් තේරී පත් වූ ‘වින්ඩ්ෆෝස්’ (Windforce Plc) සමාගම විසින් මෙම සවිකිරීම් සිදුකරන අතර, ඔවුන් මේ වන විටත් තවත් ස්ථාන 6ක මෙවැනි පද්ධති සවි කරමින් සිටියි. මීට පෙර ජූනි මුලදී මෙරටට ගෙන ආ බැටරි පද්ධති 8ක වැඩකටයුතු එළඹෙන ජූලි මාසය අගදී අවසන් වීමට නියමිත අතර, එමඟින් තවත් මෙගාවොට් 80ක විදුලි බලයක් ජාතික පද්ධතියට එකතු වනු ඇත.
















