මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉන් මුදාගැනීම සඳහා රට තුළ පවතින මානසික උපදේශකවරුන්ගේ උග්‍ර හිඟය පියවීමට ඉදිරියේදී කඩිනම් පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුවක් ලෙස මත්ද්‍රව්‍ය තුරන් කරන බව පවසමින් බොරු සංදර්ශන දැමීමට තමන්ට අවශ්‍ය නොමැති බවත්, මේ සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත යටිතල පහසුකම් දැනටමත් සකස් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.
ජාවාරම්කරුවන් විසින් ඉතා සංවිධානාත්මකව, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය (Social Media) ඔස්සේ දැන්වීම් පළකරමින් වයස අවුරුදු 25ට අඩු තරුණ පිරිස් ඉලක්ක කරගන්නා බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. බටහිර මෙන්ම ආයුර්වේද ඖෂධ පවා මෙලෙස අනිසි ලෙස භාවිත කරන බවත්, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය වහාම අඩපණ කළ යුතු බවත් ඔහු පැවසීය. මේ යටතේ පවුලේ වෛද්‍යවරුන් (Family Doctors) දැනුවත් කිරීම සඳහා විශේෂ පොතක් ද සකස් කර ඇති අතර, ගම්බිම් මට්ටමින් පවතින මෙම ව්‍යසනය නැවැත්වීමට මවුපියන්, ගුරුවරුන් සහ ආගමික නායකයන් ද වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය හංසක විජේමුණි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















