නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණය මධ්‍යයේ ඉදිවන නිවාස පේළිය වහාම නතර කරන ලෙස ඉල්ලා නුවරඑළිය සුරැකීමේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකීමේ කාර්ය සාධක බලකාය ඇතුළු සිවිල් සංවිධාන රැසක් නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය කළ ක්‍රීඩාංගණයක මෙවැනි ඉදිකිරීම් සිදු කිරීම මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට සහ සංචාරක ආකර්ෂණයට දැඩි තර්ජනයක් එල්ල වන බව එම සංවිධාන පෙන්වා දෙයි. මෙම ස්ථානය අනාගතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සමාජ විරෝධී ක්‍රියා සිදුවන ස්ථානයක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අනතුරු අඟවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙය ආපදාවන්ට ලක්වූවන් සඳහා කෙරෙන තාවකාලික පදිංචි කරවීමක් පමණක් බවයි. වතු අධිකාරිය සමඟ එක්ව ඔවුන් සඳහා ස්ථිර නිවාස ලබාදීමට කටයුතු යොදා ඇති අතර, ස්ථිර නිවාස ලැබුණු පසු මෙම තාවකාලික ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු සහතික විය.
















