කෝප් කමිටුව සහ විගණකාධිපති
අයකරගන්නට යැයි කියූ
රු. ලක්ෂ 56ක මුදල අයකරගැනීම පැහැර හැර
පේරාදෙණි පාලකයෝ වංගු ගසති
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව 2023 අප්‍රේල් මස 23 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු සමාලෝචනය කිරීමේ රැස්වීම් වාරයේදී, එම විශ්වවිද්‍යාලය විසින් නිෂ්කාර්ය ලෙස වැය කර ඇති රුපියල් ලක්ෂ 56ක මුදලක් වගකිවයුත්තන් වෙතින් ආපසු රජයට අයකරගත යුතු වන බවට තදබල නිර්දේශයක් ලබා දී තිබේ. කෝප් කමිටුවේ මෙම නිර්දේශයෙන් වසර තුනකට අධික කාලයක් ගතවී තිබෙන මේ මොහොත වන විටත් එම විශාල මුදල අයකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් කටයුතු කර නැති අතර එම කාර්යය පැහැර හැරීම සඳහා කල් මරමින් සහ වංගු ගසමින් සිටින බව වාර්තා වේ.
2015 වර්ෂයේදී එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විධිමත් පරීක්ෂණයකින් තොරව සේවයෙන් ඉවත් කිරීම හේතුකොටගෙන ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර 2021 දී ලබාදුන් එම නඩුවේ තීන්දුව මගින් විශ්වවිද්‍යාලය ගත් එම ක්‍රියාමාර්ගය ස්වභාවික යුක්තියේ මූලධර්මයන්ට පටහැනි බව තීරණය කරමින් බලශූන්‍ය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබුණි. මෙම තීන්දුව නිසා 2015 සිට 2022 දක්වා වසර 7ක කාලයක් හිඟ වැටුප් සහ දීමනා ලෙස රුපියල් ලක්ෂ 56කට ආසන්න මුදලක් එකී නිලධාරියාට ගෙවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුව තිබුණි.
මෙම වැය අදාළ නිලධාරියාගෙන් කිසිදු සේවයක් ලබා ගැනීමෙන් තොරව ගෙවීමට සිදුව තිබීම හේතුවෙන් එය නිෂ්කාර්ය වැයක් ලෙස සලකා, එකී විචක්ෂණශීලී නොවන සේවයෙන් ඉවත් කිරීමේ තීරණය ගත් බලධාරීන්ගෙන් එම මුදල ආපසු අයකරගත යුතු වන බව විගණකාධිපතිවරයා විශේෂ විගණන වාර්තාවක් මගින් නිර්දේශ කර තිබුණි. මෙම විගණන වාර්තාව සලකා බැලූ කෝප් කමිටුව අදාළ නිර්දේශය ලබා දී තිබුණි. එකී කෝප් කමිටු රැස්වීමේදී එවකට විගණකාධිපති චූලන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ බලධාරීන් එම කාර්යය පැහැර හැරියහොත් විගණකාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර එම මුදල ආපසු අයකර ගැනීමට තමන් කටයුතු කරන බවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලීය බලධාරීන් එකී වගකීම පැහැර හැර තිබෙන බව පැහැදිලි බැවින් විගණකාධිපතිවරයාට දැන් තම බලතල භාවිතා කළ හැකි බව නව විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මිය වෙත මතක් කර සිටීමට අපි කැමැත්තෙමු.














