රාජ්‍ය සේවකයන්ට ‘ලීසිං’ ක්‍රමයට සහල් ලබාදෙන බවට ඇතැම් මාධ්‍ය සහ විපක්ෂය පතුරුවන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජයේ සැබෑ අරමුණ වී ඇත්තේ ගබඩාවල පවතින තොග නිකුත් කර, ඉදිරි යළ කන්නයේ අස්වැන්න මිලදී ගැනීම සඳහා ගබඩා පහසුකම් සලසා ගැනීම සහ එමගින් ගොවියාට සාධාරණ මිලක් තහවුරු කිරීම බවයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට තුළ සහල් අතිරික්තයක් පවතින පසුබිමක, වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 120,000කින් කොටසක් සහල් කර සතොස සහ සමුපකාර හරහා ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බවයි. පසුගිය කාලයේ කීරි සම්බා මිල ඉහළ යෑමට පිළියමක් ලෙස ආදේශක සහල් හඳුන්වා දීමෙන් සහල් කිලෝවක මිල රුපියල් 230-255 දක්වා පහත හෙළීමට රජය සමත් වී තිබේ.යළ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මුදල් වෙන් කර ඇති අතර, නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද, සම්බා කිලෝවක් රුපියල් 130කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 140කට ද මිලදී ගැනීමට නියමිතය. අතිරික්ත සහල් කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට සහන සැලසීමටත්, ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබාදීමටත් රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට සහාය වන ලෙස අමාත්‍යවරයා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
















