හදිසි අනතුරුවලට මුහුණ දෙන පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 14 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකදී බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව සඳහන් කළාය.
ඇය පෙන්වා දුන්නේ සියලුම රෝහල්ගත වීම් සලකා බැලීමේදී හදිසි අනතුරු දසවන ස්ථානයේ පවතින බවයි. ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8%ක් සිදුවන්නේ හදිසි අනතුරු හේතුවෙනි. ඵලදායී වයස් සීමාවක පසුවන දරුවන් වැඩිපුරම අනතුරුවලට ලක්වීම සහ මියයාම රටේ ආර්ථික සංවර්ධනයට විශාල අහිතකර බලපෑමක් ඇති කරන බව ද ඇය සඳහන් කළාය.
රෝහල්වලට වාර්තා වන ප්‍රධානතම සාධකයක් ලෙස හදිසි අනතුරු හඳුනාගෙන ඇති බවත්, එමගින් පුද්ගලයින් ආබාධිත තත්ත්වයට පත්වීම සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සැලකිය යුතු අභියෝගයක් බවත් ඇය අවධාරණය කළාය.
















