මේ දිනවල ශ්‍රී ලංකාව තුළ පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ, වර්තමානය වන විට ඩෙංගු රෝගය නැවතත් වසංගත තත්ත්වයකට පත්ව ඇති බවයි. කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
තමන් ඇතුළු යහපාලන රජය සමයේදී මෙරට තිබූ බරපතළ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකි වූ බව සිහිපත් කළ හිටපු අමාත්‍යවරයා, මැලේරියාව, බරවා රෝගය, රුබෙල්ලා, සරම්ප, මවගෙන් දරුවාට වැළඳෙන පිටගැස්ම සහ මවගෙන් දරුවාට වැළඳෙන HIV ඒඩ්ස් රෝගය එම ජයග්‍රහණ අතර වන බව පැවසීය.
2017 වර්ෂයේදී ලොව පුරා පැතිර ගිය ඩෙංගු වසංගතය මර්දනය කිරීම සඳහා තමන් ඇතුළු රජය ගත් දැවැන්ත ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී ඔහු කරුණු පැහැදිලි කළේය. ඒ සඳහා එකල රුපියල් මිලියන 1936ක (ඇ.ඩො. මිලියන 12.7) මුදලක් වියදම් කළ බවත්, මහා රෝහල් අවට ඇති කුඩා රෝහල් ‘සැටලයිට්’ රෝහල් ලෙස සංවර්ධනය කර ඩෙංගු රෝගීන් සඳහාම වෙන් කළ බවත් ඔහු පැවසීය. එමෙන්ම සියලු මහා රෝහල්වල ළමා වාට්ටු ආශ්‍රිතව ‘හයි ඩිපෙන්ඩන්සි යුනිට්ස්’ (HDU) සහ විශේෂ වාට්ටු ස්ථාපනය කර පැය 24 පුරාම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















