පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) නමැති තහනම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරියෙකුට ඇමරිකානු ඩොලර් 30,000කට අධික ක්‍රිප්ටෝ (Cryptocurrency) මුදල් රහසිගතව යැවීමේ චෝදනාව මත නිව්යෝර්ක්හි ජීවත්වන 37 හැවිරිදි කැතරින් බෙත් වොෂ්බර්න් (Catherine Beth Washburn) නමැති කාන්තාවක් FBI ආයතනය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සමාජ මාධ්‍ය ඔස්සේ තමන් සාමාන්‍ය ගෘහණියක් (Stay-at-home mom) ලෙස හඳුන්වා දී තිබුණ ද, 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු “Direct Action Movement for Palestinian Liberation” නමැති අන්තවාදී කණ්ඩායමක් පිහිටුවා එහි නායිකාව ලෙස ක්‍රියා කර ඇති බව හෙළි වී ඇත. ගාසා හි සිටින පලස්තීන පවුල්වලට මානුෂීය ආධාර දෙන බව පවසමින් අන්තර්ජාලය හරහා ආධාරකරුවන් 1,300කට වැඩි පිරිසකගෙන් මුදල් එකතු කර ඇති ඇය, පසුව එම මුදල් බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ මුදල් බවට පත්කර ගාසා හි සිටින ත්‍රස්තවාදී සටන්කරුවෙකුගේ ඩිජිටල් පසුම්බියට (Crypto wallet) වාර 80කදී හොර රහසේම යවා තිබේ.
ඇය සහ අදාළ ත්‍රස්තවාදියා අතර සිදුවූ අන්තර්ජාල පණිවිඩ පරීක්ෂා කිරීමේදී, “හැමදාම ඔක්තෝබර් 7 වැනිදා වගේ ප්‍රහාර සිදුවෙනවා නම් මම කැමතියි” සහ “ඊශ්‍රායල සෙබළුන් මියයන පුවත් දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා” යනුවෙන් ඇය පවසා ඇති බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ත්‍රස්ත කණ්ඩායම්වලට මුදල් සැපයීමේ වරදට ඇයට වසර 20ක උපරිම සිරදඬුවමක් හිමිවීමට නියමිතය.















