ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දැවැන්ත ජල ව්‍යාපෘති කිහිපයක් 2026 වසරේදී අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ. රුපියල් බිලියන 175කට අධික මුදලක් වැය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති හරහා දිවයිනේ පවුල් ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු පානීය ජලය හිමිවනු ඇත.
ජූලි මසදී රුපියල් මිලියන 4,995ක වියදමින් ලග්ගල නව නගර ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 6,800කට සහ රුපියල් බිලියන 32ක වියදමින් තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. එමෙන්ම රුපියල් බිලියන 52ක ආයෝජනයකින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ද ජූලි මසදී ආරම්භ වීමට නියමිතය.
සැප්තැම්බර් මසදී රුපියල් මිලියන 20,207ක ආයෝජනයකින් පොල්ගහවෙල, පොතුහැර සහ අලව්ව ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කෙරෙන අතර එමගින් පවුල් 38,000කට පානීය ජල ගැටලුවට විසඳුම් ලැබෙනු ඇත. වසර අවසානයේදී එනම් දෙසැම්බර් මසදී, රුපියල් මිලියන 65,000ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මහනුවර උතුර – පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතය. මෙය වසරේ විශාලතම ව්‍යාපෘතිය වන අතර ඉන් පවුල් 173,000කට ප්‍රතිලාභ සැලසෙනු ඇත.
මෙම ව්‍යාපෘති නිම වීමත් සමඟ මෙරට ජල ආවරණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන අතර, වකුගඩු රෝගය බහුල ප්‍රදේශ ඇතුළු බොහෝ ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදීම රජයේ ප්‍රධාන අපේක්ෂාවයි.














