බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරය තුළ සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ශිෂ්‍යාවකගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සහ ඇගේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීම සඳහා ජනාධිපති අරමුදල මඟින් රුපියල් 25,000ක මාසික ශිෂ්‍යත්වයක් පිරිනමා තිබේ.
පසුගිය මාර්තු 23 වනදා පාසල් විද්‍යාගාරය තුළ රසායනික පරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රසායනික ද්‍රව්‍ය උතුරා ගොස් ගින්නක් හටගැනීම හේතුවෙන් මෙම ශිෂ්‍යාව බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබුණි. අනතුරින් පසු ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ අතර, දැනට ඇගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පැවතියද තවදුරටත් සායනික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව පවතී. පවුලේ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශිෂ්‍යාවගේ මව විසින් ජනාධිපති අරමුදලෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම මූල්‍ය ආධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇත.
අද (ජූලි 11) දින ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ සිසිර සෙනපති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එම ශිෂ්‍යාවගේ නිවසටම ගොස් මෙම ශිෂ්‍යත්වය නිල වශයෙන් පවුලේ සාමාජිකයන් වෙත භාර දී තිබේ. තුවාල ලැබූ ශිෂ්‍යාව ඇතුළු එම පවුලේ සිටින දරුවන් සිව්දෙනාගේම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සහ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් මෙම රුපියල් 25,000ක මාසික දීමනාව දිගින් දිගටම ලබාදෙන බව ජනාධිපති අරමුදල වැඩිදුරටත් සඳහන් කරයි.
















