මිලිටරි ක්ෂේත්‍රයේ පවතින දැඩි නිලධාරීවාදී නීතිරීති සහ වසර ගණනාවක් ගතවන අනුමැති ක්‍රියාවලීන් මඟහරිමින්, ඇමෙරිකානු මැරීන් බලකාය (US Marines) විසින් සතුරාට දරුණු ප්‍රහාර එල්ල කළ හැකි ‘NEROS Archer’ නම් ලාභදායී ප්‍රහාරක ඩ්‍රෝන යානයක් නිපදවා තිබේ. ඇමෙරිකානු ඩොලර් 2000ක් වැනි සුළු මුදලකට මෙහි මූලික සැකිල්ල (airframe) සකස් කර ඇති අතර කිලෝමීටර 20ක දුරක් ගොස් සතුරු ඉලක්ක විනාශ කිරීමේ හැකියාව ඊට පවතී. මීට පෙර මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සම්පූර්ණ බ්‍රිගේඩියක (brigade) සහාය අවශ්‍ය වුවද, දැන් කුඩා භට කණ්ඩායමකට මෙම ඩ්‍රෝනය භාවිත කරමින් සතුරා විනාශ කළ හැකිය.
මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂීම කරුණ වන්නේ, නවීන අවි ආයුධ නිපදවීමේදී වොෂින්ටනයේ ආරක්ෂක අංශවලින් නිල කේත (ID codes) සහ අනුමැතිය ලබාගැනීමට වසර ගණනාවක් ගතවන බැවින්, මැරීන් භටයන් ඊට අපූරු උපක්‍රමයක් භාවිත කිරීමයි. ඔවුන් ඕනෑම හමුදා කඳවුරක බහුලව ඇති C4 පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් (blasting caps) එක්කර, ඩ්‍රෝන යානයේ ඉදිරිපසට සතුරු භටයන් ඉලක්ක කරන ක්ලේමෝ තැටියක් හෝ සන්නාහ සන්නද්ධ රථ විනිවිද යන ප්‍රහාරක හිසක් (warhead) සවි කර ඇත. කඩදාසි මත මේවා වෙන වෙනම පවතින කොටස් මිස අලුත් ආයුධයක් ලෙස ලියාපදිංචි නොවන බැවින්, කිසිදු නිල අනුමැතියකින් තොරව වසරකට අඩු කාලයකදී මෙය යුධ පිටියට හඳුන්වා දීමට ඔවුන්ට හැකි වී තිබේ.
පුපුරණ ද්‍රව්‍ය ද ඇතුළුව ඩොලර් 5,000කට අඩු මුදලකින් නිමවන මෙම ඩ්‍රෝනය සතුරාගේ සංඥා අවහිර කිරීම් (jamming) මඟහැර යා හැකි ඇනලොග් කැමරා පද්ධතියකින් සමන්විතය. පරිපූර්ණ ආයුධයක් නිපදවීමට වසර ගණනාවක් නාස්ති කරනවා වෙනුවට, ක්ෂණිකව ප්‍රායෝගිකව භාවිත කළ හැකි මෙවැනි ලාභදායී උපක්‍රම වෙත ඇමෙරිකානු හමුදාව යොමුවීම ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















