මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බලප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී ඩෙංගු මදුරු කීටයන් බෝ කළ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ පුණ්‍යායතනයක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 21ක වාර්තාගත දඩ මුදලක් නියම කර තිබේ.
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන පරිදි, ගොඩිගමුව, පන්නිපිටිය, නාවින්න සහ වත්තේගෙදර යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසවල පසුගිය දිනවල සිදුකළ හදිසි පරීක්ෂාවකදී ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 84ක් සොයාගෙන ඇත.
එම ස්ථාන 84ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර, එහිදී සෑම ස්ථානයකටම රුපියල් 25,000 බැගින් දඩ නියම කර තිබේ. නුගේගොඩ අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ මදුරුවන් බෝ කිරීම සම්බන්ධයෙන් නියම කළ වැඩිම දඩ මුදල මෙය බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
මීට අමතරව, මදුරුවන් බෝ විය හැකි තත්වයන් පැවති තවත් ස්ථාන 175කට අවසන් නිවේදන නිකුත් කර ඇති අතර, දින තුනක් තුළ එම තත්වයන් නිවැරදි නොකළහොත් එම ස්ථානවලට එරෙහිව ද නඩු පවරන බවට අනතුරු අඟවා ඇත.
පවතින අධික ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් මෙම වැටලීම් තවදුරටත් දැඩි කරන බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කෝසල මුතුකුමාරණ මහතා පැවසීය.
















