‘සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමක්’ බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ දකුණු ආසියාවේ සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ (CR8) තෙදින කලාපීය සමුළුවට සහභාගි වෙමිනි.
සෑම පුද්ගලයකුටම රජය විසින් පිළිගනු ලබන නීත්‍යනුකූල අනන්‍යතාවක් ලබා දීම ඕනෑම රජයක ප්‍රධානතම වගකීමක් බවත්, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ මූල්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් ලබා ගැනීමට එය අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම විශ්වාසදායක දත්ත පද්ධතියක් මඟින් රජයකට සංවර්ධන සැලසුම් සකස් කිරීම, ආපදා කළමනාකරණය සහ මහජන සෞඛ්‍ය තීරණ ගැනීම පහසු වන බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ වසරේ මුල් භාගයේදී CRVS ජාලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු, කෙටි කලකින් මෙවැනි කලාපීය සමුළුවකට සත්කාරකත්වය දැක්වීම රටට ලැබුණු ගෞරවයක් බව ද ඇමැතිවරයා පැවසීය. UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ‘එක් ලේඛනාගාරයක්’ (One Registry) වැඩසටහන හරහා සිවිල් ලියාපදිංචි පද්ධතිය නවීකරණය කර, එය රටේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමට රජය කැපවී සිටී.
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිවිල් ලියාපදිංචි කිරීමේ බලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටිති. ජූලි 13 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව අද (15) දක්වා පැවැත්වෙන අතර, එහිදී කලාපීය වශයෙන් සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධති ශක්තිමත් කිරීමට අදාළ නිර්දේශ සහ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතය.
















