වත්මන් රජය විසින් අවස්ථා දෙකකදී ඉහළ නංවන ලද පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප තම සේවකයන්ට ලබා නොදෙන ආයතන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට නීත්‍යනුකූල අවම වැටුප නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීම සඳහා පසුගිය 13 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රජය බලයට පත්වීමෙන් පසු පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප සහ දෛනික වැටුප 71%ක ප්‍රතිශතයකින් වැඩි කර ඇත. මීට පෙර රුපියල් 17,500ක්ව පැවති ජාතික අවම වැටුප සහ රුපියල් 700ක්ව පැවති දෛනික අවම වැටුප, රජයේ නව ප්‍රතිපත්ති අනුව අදියර දෙකක් යටතේ සංශෝධනය විය.
ඒ අනුව, පළමු අදියරේදී අවම ජාතික වැටුප රුපියල් 27,000ක් සහ දෛනික වැටුප රුපියල් 1,080ක් දක්වා වැඩි කෙරිණි. ඉන්පසුව 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවම ජාතික වැටුප රුපියල් 30,000 දක්වාත්, අවම දෛනික වැටුප රුපියල් 1,200 දක්වාත් යළි ඉහළ නැංවිණි.
රජයේ මෙම තීරණය ක්‍රියාත්මක නොකරන ආයතන සොයා බැලීම කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීමක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
















