දරුවන්ට ලබාදෙන ලිංගික අධ්‍යාපනයට බාධා කරන පුද්ගලයන් ළමා අපයෝජන, HIV ආසාදනය සහ අඩු වයස් ගැබ් ගැනීම් වැනි බරපතළ සමාජ ප්රශ්නවල වගකීම භාර ගත යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අනාගත පරපුර සුරක්ෂිත කිරීමේ අරමුණින්, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ලිංගික අධ්‍යාපන ප්‍රකාශන තුනක් රජය විසින් නිල වශයෙන් එළිදක්වා ඇත.
ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ 6 හා 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත මගින් දරුවන්ට හා යොවුන් පරපුරට නිවැරදි විද්‍යාත්මක දැනුම ලබාදීම අපේක්ෂා කෙරේ. මෙම ලේඛන ගුරුවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මාධ්‍යවේදීන් සඳහා ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියාත්මක වේ.
2025 වසර තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,455ක්, HIV ආසාදිතයන් 874ක් (ඉන් 107ක් වයස අවුරුදු 15-24 අතර) සහ අඩු වයස් ගැබ් ගැනීම් 8,700ක් වාර්තා වී ඇති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. බොහෝ ළමා අපයෝජන සහ අනෙකුත් ගැටලුවල මූලික හේතුව නිවැරදි දැනුම හා අවබෝධය නොමැතිකම බව ඔහු අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අත්සන් තැබිණි. මෙම ජාතික වැඩසටහනට කාන්තා හා ළමා කටයුතු ඇමැති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
















