ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම හුදෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා රාජ්‍ය, පෞද්ගලික අංශ සහ මහජනතාවගේ සමස්ත දායකත්වය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.
ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 63ක් ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් දියත් කර ඇත. බස්නාහිර පළාතේ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන කොට්ඨාස 23ක් මූලික කරගනිමින් ආරම්භ කළ මෙම මෙහෙයුම්, මේ වන විට හඳුනාගෙන ඇති සෙසු කොට්ඨාස කරාද ව්‍යාප්ත කෙරේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය අංශවල සහභාගීත්වයෙන් දෛනිකව නිවාස සහ ඉඩම් පරීක්ෂා කිරීමත්, මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමත් සිදු කෙරේ. මෙහිදී නොසලකා හරින ලද ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත්, රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත.
2026 වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 71,235ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ පමණක් රෝගීන් 15,856ක් වාර්තා වී ඇත. මරණ 49ක් සිදුවී ඇති අතර මරණ අනුපාතය 0.07%කි. වැඩිම රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක ලෙස ගම්පහ, කොළඹ, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර, මහනුවර, බදුල්ල, පුත්තලම සහ කුරුණෑගල හඳුනාගෙන ඇත.
ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා පොලිස් නිලධාරීන් 1,790ක් අනුයුක්ත කර ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකට පොලිස් නිලධාරීන් දසදෙනා බැගින් යොදවා ඇත. නිවාස පරීක්ෂා කිරීමේදී මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, රතු කුරුස සංවිධානය වැනි සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහාය ලබා ගැනීමටත් කටයුතු යොදා ඇත
















