නිරිතදිග චීනයේ චොංකිං (Chongqing) මහ නගර සභාවට අයත් පෙන්ෂුයි (Pengshui) ප්‍රදේශයේ අද (17) උදෑසන සිදුවූ දරුණු නායයෑමක් හේතුවෙන් මාර්ගයක කොටසක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් නේවාසික ගොඩනැගිලි 10කට අධික ප්‍රමාණයක් පස් හා ගල් කැබලිවලට යටවී තිබේ. චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 9.08ට පමණ වන අතර, නායයෑමට පෙර අදාළ කලාපයේ පර්වතවලින් ගල් පෙරළෙන බව නිරීක්ෂණය කළ ප්‍රජා සේවකයෙකු විසින් කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. ඒ අනුව ප්‍රදේශවාසීන් 60කට අධික පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටි අවස්ථාවේදී මෙම නායයෑම සිදුව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 9 දෙනෙකු මේ වන විට නිරුපද්‍රිතව මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
අනතුර සිදුවූ ස්ථානයේ සිරවී සිටින සෙසු පුද්ගලයන් සොයා ජීවිතාරක්ෂක මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක වන අතර චීන හදිසි අනතුරු කළමනාකරණ අමාත්‍යාංශය විසින් දෙවන මට්ටමේ (Level II) ජාතික හදිසි ප්‍රතිචාර දැක්වීමේ පද්ධතිය ක්‍රියාවට නංවා තිබේ. සහන සේවා කටයුතු සහ නටබුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 206 දෙනෙකුගෙන් සමන්විත විශේෂ මුදාගැනීමේ කණ්ඩායම් සහ ආපදා සහන වාහන 49ක් වහාම එම ප්‍රදේශයට යොමු කිරීමට චීන ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. වුජියෑන්ග් (Wujiang) නදී නිම්නය ආශ්‍රිතව සිදුවූ මෙම නායයෑමෙන් විදුලි රැහැන් කණු ද කඩා වැටී ඇති බැවින් ප්‍රදේශයේ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.
ගෝලීය දේශගුණික විපර්යාසයන් සමඟ චීනය පුරා පවතින දැඩි වර්ෂාපතනය සහ අයහපත් කාලගුණය මෙවැනි නායයෑම් කෙරෙහි සෘජුවම බලපාන බව පාරිසරික හා ආපදා කළමනාකරණ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන නායයෑම් අවම කරගැනීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම පාරිසරික සමතුලිතතාව රැකගැනීමේ වැදගත්කම මෙමඟින් තවදුරටත් අවධාරණය කෙරේ. මෙවැනි ආපදා තත්ත්වයන්හිදී ජීවිත හානි අවම කරගැනීම සඳහා කඩිනම් සහ ක්‍රමවත් නාගරික සැලසුම්කරණයක් සහ තිරසාර පාරිසරික කළමනාකරණයක් පැවතීම අතිශය තීරණාත්මක වන බව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයෝ සන්කල්පනය කරති.
















