උගන්ඩාවේ නැගෙනහිර කප්චෝර්වා (Kapchorwa) ප්‍රදේශයේදී පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පාසල් සිසුන් 20 දෙනෙකු සහ වැඩිහිටියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අධ්‍යාපන චාරිකාවක නිරතව ආපසු පැමිණෙමින් තිබූ ‘කිං ඩේවිඩ් ජූනියර්’ පාසලේ සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්වූ අතර, මෙහිදී මියගිය වැඩිහිටියා එම පාසලේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂවරයා බව වාර්තා වේ.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව රථය මාර්ගයෙන් ඉවතට පැන ගල් පර්වතයක ගැටී පෙරළී ඇති බවයි. චෙක්වාටිත් කන්ද (Chekwatit Hill) ආශ්‍රිත මෙම මාර්ග කොටස මීට පෙරද බරපතළ රිය අනතුරු ගණනාවක් සිදුවූ ස්ථානයක් බව දේශීය නිලධාරීන් පවසයි.
අනතුරින් සිසුන් රැසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගත කර තිබේ. අධික වේගය සහ නඩත්තු නොකළ වාහන භාවිතය හේතුවෙන් උගන්ඩාවේ වාර්ෂිකව දහස් ගණනක් රිය අනතුරුවලින් මියයන බව එරට රථවාහන බලධාරීන් පෙන්වා දෙයි.
















