නාවලපිටිය, ඉඹුල්පිටිය, ගල්ඔය කොටසේ වතුකම්කරුවන් පිරිසක් 2023 වසරේ ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් තම නිවාසවලට සිදු වූ හානි සඳහා මෙතෙක් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බවට චෝදනා කරමින් පස්බාගේ කෝරළේ ප්රාදේශීය මහ ලේකම් කාර්යාල භූමිය තුළ විරෝධතාවක නිරත වී තිබේ.
දශකයකට ආසන්න කාලයක් හෝ වසර තුනකට ඉහතදී නාවලපිටිය ප්රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අවතැන් වූ පවුල් 10ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටි අතර, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන මඟින් වෙනත් සුදුසු ස්ථානවල ඉඩම් ලබා දෙන බවට පොරොන්දු වුවද ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් එම කටයුතු නිසි පරිදි සිදු නොකරන බවට ඔවුන් චෝදනා කර ඇත. ප්රාදේශීය ලේකම්වරිය සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මැදිහත් වී මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තුෂාරි ජයසිංහ මහත්මිය දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර දුන් අතර, අදාළ ගැටළුව නිරීක්ෂණය කර විසඳුම් ලබා දීමට අද (06) දිනයේ අදාළ පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කරන බවට ලබා දුන් පොරොන්දුව මත විරෝධතාකරුවෝ විසිර ගියහ.














