ස්වාභාවික ආපදා හා වන සතුන්ගෙන් සිදුවන හානි වෙනුවෙන් ගව, එළු, බැටළු හා සූකර ගොවිපොළ නිවාස සඳහා විශේෂ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙහිදී ගොවිපොළ නිවාසවලට බලපාන ගංවතුර, සුළි සුළං, අකුණු ගැසීම්, නායයෑම් හා වන සතුන්ගෙන් සිදු වන හානි සඳහා මෙම රක්ෂණාවරණය යටතේ රුපියල් මිලියන 2.5ක් දක්වා වන්දි ගෙවීම් සිදු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. රක්ෂණවරණයට හිමිකම් ලබා ගැනීම සඳහා රක්ෂිත මුදලින් 2.5%ක මුදලක් ගෙවිය යුතු අතර, ගිනි ගැනීම්වලින් සිදුවන හානි අනතුරු ආවරණය කර ගන්නේ නම් ඒ වෙනුවෙන් අමතර 1%ක මුදලක් ගෙවීමට සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගොවිපොළ නිවාසයක තිබිය යුතු නිර්ණායකයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලබන ගොවිපොළ නිවාස පමණක් මෙම රක්ෂණ ක්‍රියාවලියට ඇතුළත් වන බවත්, දැනට පවතින දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අවදානම සහ අඩමානය දරා ගැනීමට මෙවැනි රක්ෂණාවරණයක් ලබා ගැනීම ඉතා වැදගත් වනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.














