මිනිසුන්ගේ මුහුණේ ඇතිවන විවිධ හැඟීම් වෙන්කර හඳුනා ගැනීමට සුනඛයන්ට හැකි බව වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබේ. මෙම හැකියාව පිළිබඳව මෙතෙක් අනාවරණය වූ පළමු විද්‍යාත්මක සාක්ෂිය මෙය වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මෙම අධ්‍යයනය සඳහා සුනඛයින් 12 දෙනෙකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඇති අතර, විවිධ හැඟීම් ප්‍රදර්ශනය කරන මිනිස් මුහුණු ආශ්‍රිත ඡායාරූප නැරඹීමේදී ඔවුන්ගේ මොළයේ සිදු වූ වෙනස්කම් විශ්ලේෂණය කිරීමට යන්ත්‍ර ඉගෙනුම (machine learning) තාක්ෂණය භාවිත කර ඇත.
යයනයේ ප්‍රධාන කරුණු:ධනාත්මක හැඟීම් හඳුනාගැනීම සම්බන්ධයෙන්, ඉහළ සංජානන ක්‍රියාකාරීත්වයන් සහ සතුටක් දෙන දෙයක් ලැබුණු විට මොළයේ ක්‍රියාකාරීත්වය සමඟ සම්බන්ධ වී ඇති ප්‍රදේශ වන temporal cortex සහ caudate nucleus යන කොටස් සක්‍රීය වී ඇත්තේ නාඳුනන පුද්ගලයන්ගේ සතුටු මුහුණු ඡායාරූප දුටු අවස්ථාවවලදී පමණි. කෝපය, බිය සහ දුක යන හැඟීම් මොළයේ එම ප්‍රදේශ උත්තේජනය කර නොමැත.
ඍණාත්මක හැඟීම් වෙන්කර හඳුනා ගැනීම සඳහා, පර්යේෂකයන් සුනඛයින්ගේ මුළු මොළයම පරීක්ෂා කර බැලීමේදී, බිය, කෝපය සහ දුක යන හැඟීම් එකිනෙකින් වෙන් කර හඳුනාගත හැකි සුවිශේෂී මොළයේ ක්‍රියාකාරීත්ව රටාවන් සොයා ගැනීමට සමත්ව ඇත. ඍණාත්මක මුහුණේ ඉරියව් නිවැරදිව වෙන්කර හඳුනා ගැනීමට සුනඛයින්ට හැකියාව ඇති බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය බව පර්යේෂක ලෝරා ක්වායා පවසා ඇත.
අනාගත පර්යේෂණ සඳහා, මින් පසුව ශරීර භාෂාව, ස්වරයේ වෙනස්කම් සහ සුවඳ වැනි අනෙකුත් සංඥාද එකතු කර ගනිමින් සුනඛයින් තමන් වටා සිටින මිනිසුන් තේරුම් ගන්නේ කෙසේද යන්න පිළිබඳව පර්යේෂණ කිරීමට ඔවුන් අපේක්ෂා කරති. මිනිස් සහ සුනඛ මොළය එකම හැඟීම් සංඥා සකසන්නේ කෙසේදැයි යන්න සංසන්දනය කිරීමටද බලාපොරොත්තු වේ.
සීමාවන් ලෙස, මෙම අධ්‍යයනය සඳහා කල් පවත්නා ආදරණීය පවුල්වල සුරතල් බල්ලන් පමණක් සහභාගී කරගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, එවැනි පරිසරයක නොවැඩුණු වෙනත් බල්ලන් මිනිස් හැඟීම්වලට ප්‍රතිචාර දක්වන ආකාරය මීට වඩා වෙනස් විය හැකි බවට අවධාරණය කර සිටිති.
> “අපගේ ඉරියව් තේරුම් ගැනීමට සහ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බල්ලන් අප සමඟ පරිණාමය වී තිබෙනවා. මෙම කරුණ අවබෝධ කර ගැනීමෙන් අප ඔවුන් සමඟ සන්නිවේදනය කරන සහ ඔවුන් රැකබලා ගන්නා ආකාරය වෙනස් කර ගත හැකියි” යැයි පර්යේෂකයෝ සඳහන් කරති.














