පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් පිරිසකට එරෙහිව දූෂණ චෝදනා මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අප වෙත වාර්තා වේ.
uopanticorruption[[email protected]](mailto:[email protected]) නම් විද්‍යුත් තැපැල් ලිපිනයක් මඟින් 2026 අගෝස්තු 11 වන දින පෙරවරු 12.18 ට විගණකාධිපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු වගකිවයුත්තන් විශාල පිරිසක් වෙත යොමු කර තිබෙන මෙම පැමිණිල්ල මඟින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ලෝක ආහාර දින සැමරුම (2023) හා සබැඳි මූල්‍ය වංචාවක් පිළිබඳව සහ එකී වංචාව යටපත් කිරීමට දරන්නාවූ උත්සාහයක් පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිට ඇත.
අදාළ පැමිණිල්ල මඟින් කියා සිටින ආකාරයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 2023 වසරේදී ලෝක ආහාර දින සැමරුම සඳහා මහා පරිමාණ වැඩසටහනක් සංවිධානය කර ඇත. එහිදී විශ්වවිද්‍යාලයේ නම භාවිතා කරමින් විවිධ පෞද්ගලික ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් මහජන බැංකුවේ අංක 057200298330072 දරන පෞද්ගලික ගිණුමට මුදල් ගෙන්වාගෙන ඇති බවත්, මෙම ගිණුම ආර්.පී.එන්.පී. රාජපක්ෂ සහ ඞී.එම්.එස්.එස්. ඩවුන්දසේකර යන අය විසින් පෞද්ගලිකව පවත්වාගෙන යන ගිණුමක් බවත් එකී පැමිණිල්ල මඟින් කියා සිට තිබේ.
මේ පිළිබඳ දැනට විමර්ශනයක් ආරම්භ කර තිබුණද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් තම පෞද්ගලික හිතවත්කම් උදෙසා මෙම මූල්‍ය වංචාව යටපත් කිරීමට උත්සාහ කරමින් සිටින බව අවධාරණය කරන පැමිණිලිකරු, මේ පිළිබඳව වහාම සොයා බලා ඉහත සඳහන් විමර්ශනයට බාධාවක් විය හැකි යම් කරුණක් වෙතොත් එවැන්නක් බලශුන්‍ය කර, විමර්ශන කටයුතු නිත්‍යානුකූලව ඉදිරියට පවත්වාගෙන ගොස්, ඉහත වැඩසටහනේ සිදුවූ ඇතැයි කියනු ලබන මූල්‍ය අක්රමිකතාවන්, මූල්‍ය වංචාවන් හා රාජ්‍ය දේපොළ අවභාවිතයට එරෙහිව නිසි පියවර ගන්න ලෙස ඉල්ලා සිට ඇත.
අදාළ පැමිණිල්ල, පැමිණිලිකරුගේ අනන්‍යතාව සඟවන (Proton Mail Secure email) නම් විශේෂ ආරක්ෂිත විද්‍යුත් තැපැල් ක්‍රමවේදය හරහා යොමු කර තිබේ.
















