ඓතිහාසික යාපහුව රාජධානිය ආශ්‍රිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘතිය යටතේ සිදු කළ නවතම කැණීම්වලදී, අතීත ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් හමු වී නොමැති ආකාරයේ අපූර්ව භූගත මැටි නළ පද්ධතියක කොටස් අනාවරණය කර ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. යාපහුව පිටත නගරයේ බටහිර කලාපයේ සිදුකළ මෙම කැණීම්වලදී, එකිනෙකට ආසන්නව සහ එකම ව්‍යුහයක් තුළ ප්‍රතිවිරුද්ධ දිශාවන්ට සමාන්තරව දිවෙන මෙම භූගත මැටි නළ පද්ධතිය හරහා කිසියම් ද්‍රාවණයක් රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී සොයාගැනීම මගින් දහතුන් වන සියවසේ පැවති නිෂ්පාදන තාක්ෂණය මෙන්ම මෙරට මධ්‍යතන යුගයේ සාමාන්‍ය ජනජීවිතය සහ නාගරික ඉතිහාසය පිළිබඳව වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට මගපෑදී ඇත. මීට පෙර මෙරට පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලදී වැඩිපුරම හමු වී ඇත්තේ ආරාම සංකීර්ණ සහ රාජමාලිගා වුවද, මෙමඟින් සාමාන්‍ය ජනයාගේ ජනාවාස හා දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් සාක්ෂි අනාවරණය වේ. මීට අමතරව, තඹ කාසි සකස් කිරීමට යොදාගත් ආච්චු, තඹ බෝල, යකඩ කඩුවල කොපු සහ විවිධ නිෂ්පාදන සාධක ද මෙම කැණීම්වලදී හමු වී තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතාගේ මඟපෙන්වීමෙන් සහ වයඹ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය මංගල කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වසර හතරක ව්‍යාපෘතිය යටතේ, දහතුන් වන සියවසේ සංස්කෘතික භූ දර්ශනය නැවත ගොඩනඟමින් ඉදිරියේදී මේවා මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
















