2027 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැති ප්‍රවර්ධන වැඩසටහනට ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ වැඩි අවධානයක් යොමුව තිබේ. මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. මෙහිදී වික්ටෝරියා ප්‍රාන්තය පදනම් කරගත් ව්‍යාපාරික නායකයන් සහ ආනයനකරුවන් වෙත ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා, අපනයන විභවයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට ලබාදෙන දිරිගැන්වීම් පිළිබඳව පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී. ආහාර පාන, ප්‍රවාහන හා සැපයුම් සේවා, මූල්‍ය සේවා, සංචාරක සහ සුවතා යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ සමාගම් රැසක් මීට එක්ව සිටියහ.














