ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා, 232 වගන්තිය යටතේ පනවා ඇති ඒකපාර්ශ්වික තීරුබදු ක්‍රියාමාර්ග වහාම ඉවත් කරන ලෙස චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටියි. “ජාතික ආරක්ෂාව” යන මුවාවෙන් ඇමෙරිකාව සිදුකරන මෙම ක්‍රියාමාර්ගය සාධාරණ වෙළඳපොළ තරගකාරීත්වයට සහ ගෝලීය සැපයුම් දාමයන්ට දැඩි ලෙස බාධා පමුණුවන බව චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක හේ යඩොන්ග් (He Yadong) පෙන්වා දෙන්නේ ඇමෙරිකාවට අපනයනය කරන චීන ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය, උපකරණ පරීක්ෂා කිරීම, චිත්‍රපට හා විනෝදාස්වාද වැනි සිවිල් කටයුතු සඳහා භාවිත කරන ඒවා බවයි. ඇමෙරිකාව වෙළඳ හවුල්කරුවන් අතර වෙනස්කම් කරමින් චීන නිෂ්පාදන ඉලක්ක කර පනවා ඇති මෙම තීරුබදු ක්‍රමවේදයට චීනය සිය දැඩි විරෝධය පළ කර සිටී.
















