මෙරට එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම්කර ඇති එරික් මයර් (Eric Meyer) මහතා පසුගිය අගෝස්තු 22 වැනිදා දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම පිළිබඳව සිය උද්යෝගය පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ, දෙරටේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනඟමින්, අමෙරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කරන සහ පොදු ආරක්ෂක අවශ්‍යතා ඉදිරියට ගෙන යන හවුල්කාරිත්වයක් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම ධුරයට පත්වීමට පෙර ඔහු නෝර්වේහි අමෙරිකානු දූත මණ්ඩලයේ තාවකාලික නිලධාරී ලෙස මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ.














