ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ට පවතින උනන්දුව හා පැහැදිලි ලබැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest) පවතින බැවින් එය පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) ඉදිරියේ විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නව මෝසමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති මෙම නව මෝසම මඟින් අධිකරණ පනතේ 49(3) වගන්තිය පෙන්වා දී ඇති අතර, උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති මෙම සංශෝධනය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම මෙම කාරණය සම්බන්ධයෙන් සෘජුවම පාර්ශ්වකරුවන් වන බව එහි දැක්වේ. ඒ අනුව, පවතින ලබැඳියාවන් අතර ගැටුම්කාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මෙම නඩුව ඉදිරි අගෝස්තු 31, සැප්තැම්බර් 01 හෝ 02 යන දිනවලින් එකක විවෘත අධිකරණයේදී පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
















