යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසට බීමත්ව අනවසරයෙන් ඇතුළු වී දේපළවලට හානි කර මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ මිතුරන් පිරිසක් නෙල්ලිඅඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ගනේෂරූපන් නමැති මන්ත්‍රීවරයා සහ පිරිසක් මධ්‍යම රාත්‍රියේ අදාළ නිවසට කඩා වැදී ඇති බව වාර්තා වේ. සැකකරුවන් විසින් නිවසේ සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියට (CCTV) හානි කර ඇති අතර, නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පිරිසට මරණ තර්ජනය කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
නිවෙස් හිමියා විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ කළ පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නෙල්ලිඅඩි පොලිසිය, අදාළ මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















