ආණ්ඩුව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට විවිධ පාර්ශ්වයන් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. කිසිදු නිල දත්ත පදනමකින් තොරව එවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින් ආණ්ඩුවේ ණය රුපියල් බිලියන 190කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතර ඉදිරිපත් කර ඇති ඇතැම් දත්තද නිවැරදි නොවන බව සඳහන් කරයි.
රජයේ ණය පිළිබඳ නිල හා වගකීම් සහගත තොරතුරු කාර්තුවෙන් කාර්තුවට “Debt Bulletin” මගින් ඉදිරිපත් කරන බවත්, එම වාර්තාවල දේශීය ණය, විදේශ ණය, රටවල් අනුව ලබාගෙන ඇති ණය මෙන්ම බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් වන බවත් හෙතෙම පෙන්වා දෙයි. එබැවින් ණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී පළමුව නිල ලේඛන හා දත්ත පදනම් කරගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, එම නිල දත්ත අනුව ආණ්ඩුවේ ණය එවැනි ආකාරයකින් ඉහළ ගොස් නොමැති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.














