කිසිදු අගය එකතු කිරීමකින් තොරව අමු ඛනිජ ලෙසම ස්වාභාවික සම්පත් පිටරට පැටවීම නිසා රටක් විනාශ වී, එහි උපරිම කොල්ලකෑමට ලක්වූ විනාශකාරී උදාහරණය අප්‍රිකානු මහද්වීපයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයයි
ලොව විශාලතම කොබෝල්ට්, තඹ, දියමන්ති, කොල්ටන් සහ රත්රන් සංචිත පිහිටා තිබුණ ද, අමු ඛනිජ ලෙසම විදේශීය බහුජාතික සමාගම් වෙත ඒවා කුණු කොල්ලයට අපනයනය කිරීමට ඉඩ දීම නිසා කොංගෝව දශක ගණනාවක් තිස්සේ දරුණු දරිද්‍රතාවයකට, නිරන්තර සන්නද්ධ ගැටුම්වලට සහ දේශපාලන අස්ථාවරත්වයකට ගොදුරු විය. අති විශාල ඛනිජ සම්පතක් තිබියදීත්, අගය එකතු කිරීමේ කර්මාන්තශාලා සිය රට තුළ නොමැති වීම හේතුවෙන් ඛනිජවල සැබෑ ආර්ථික ප්‍රතිලාභය සියල්ල අත්කර ගත්තේ බටහිර සහ පෙරදිග දියුණු රටවල්ය. ආර්ථික විද්‍යාවේදී මෙය සම්පත් ශාපය ලෙස හඳුන්වනු ලබයි.
අප්‍රිකානු කලාපයට මුහුණ දීමට සිදු වූ මෙම අමිහිරි ඉරණමෙන් පාඩම් ඉගෙන ගනිමින්, මෙරට ඛනිජ සම්පත් විදේශයන් විසින් කොල්ලකෑමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී මූලික ඛනිජ ලෙසින් පිටරට පැටවීම තහනම් කෙරෙන අතර, මෙරටදීම අගය එකතු කරන ලද ඛනිජ නිෂ්පාදන පමණක් අපනයනය කිරීම අනිවාර්ය කෙරේ.
මෙරටට උපරිම විදේශ විනිමය ප්‍රමාණයක් අත්කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, මින් ඉදිරියට කිසිදු පාර්ශවයකට ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස සොච්චම් මුදලකට පිටරටට පැටවීමට ඉඩ නොලැබෙනු ඇත.














